Thursday, August 30, 2012

තාත්තා


තමන්ගේ පියා තරම් මිහිපිට වෙනත් කිසිම පුරුෂයකු (ආගමික නායකයන් මේ කුලකයෙන් ඉවත් වේ) උත්තරීතර නොවන බව ඕනෑම සුජාත පුනණුවෙකුගේ, දියණියකකේ විශ්වාසය වේ. මමද එම විශ්වාසයේ දැඩිව එල්බ ගත්තෙක්මි. නමුත් සෑම තාත්තා ගෙනෙකු තුළම ස්වභාවයෙන්ම පිහිටන පිය ගුණයට අමතරව සුවිශේෂී වූත්, දුර්ලභ වූත් ගුණාංග කිහිපයක්ම මම ඔහු තුළින් දුටුවෙමි.

සාමාන්‍යයෙන් තාත්තලා, දරුවන්ට, වෙසෙසින්ම පිරිමි දරුවන්ට සිය ආදරය එළිපිටම නොපෙන්වති. මා කියන්නේ කුඩා කල නොව, පුතුන් යොවුන් වියේදී හා තරුණ වියේදීය. අන්‍යයන් ඉදිරියේ එසේ කිරීම තම පෞර්ෂ්‍යයට මදි කමක් යයි හෝ කොල්ලා හදා ගැනීමට නොහැකි වේ යැයි බියෙන් විය යුතුය. (වැඩි ආදරය නිසා දරුවන් නොමඟ යනු ඇතැයි මොවුහු විශ්වාස කරණ බවට හොඳම උදාහරණය 'හැඳි නොගා හදන කිරිහොද්ද' වහරයි. මගේ පියා මෙය මිථ්‍යාවක් බවට පසක් කළ අයෙකි. අභියෝග කරනවුනට සාක්ෂි වුවමනා නම් මම නොබියව ඉදිරිපත් වෙමි. මම හැඳි නොගා හැදූ කිරි හොද්දකි. මෙය කැටි ගැසී ඇත්දැයි විමසා බැලීමට මා දැන් සිටින අධ්‍යාපන හා වෘත්තීය මට්ටම නොසලකා හැරියද පුළුවන. පංච ශීලය රැකගෙන කාටවත් කරදයක් නොවී, රටට බරක් නොවී පාඩුවේ ජීවත්වෙන එකම මදැයි!) මා දකින විදියට නම් එය තම ලෙයින් සැදුන දරුවා අවිශ්වාස කිරීමකි.

බොහෝ කලාකරුවන්ගේ ඇරඹුම සේම, ඔහුගේ ජීවිත කතාවද කඳුලෙන්ම ඇරඹී කටුක අත්දැකීම් මට පරිණත වූවකි. 
පොළොන්නරුව මූලික රෝහළ 1955 වනවිට තිබී ඇත්තේ ඉතා නොදියුණු තත්ත්වයකය. එහි මුල්ම සේවකයා වූ මගේ සීයා එහි බහු කාර්ය සේවකයෙක් විය. රාජකාරිය අතින් ඔහු කෝකියා විය. මීට අමතරව පිස්සු කෙළින, දඟලන රෝගීන් මෙල්ල කිරීමට සහය දුන් හැඩි දැඩි පුරුෂයෙකි. රාජකාරියෙන් බැහැරව ගොඩ - මඩ දෙකම ආවරණය කළ ගොවියෙකි. දඩයක්කරුවෙකි. සතුන්ට ඉතා ආදරය කරන, ඔවුන් සමග අදටත් දොඩමළු වන මගේ පියා ඔහුගේ ගමන් මග නොගැනීම පුදුමයකි. ආහාරය පිණිස මෙන්ම විනෝදය සඳහාද සතුන් දඩයම් කළ සිය පියාට එදිරිව ඔහු, කරදකාරී මීයන්ට පවා අනුකම්පාව දක්වන කරුණාබර හදවතක් ඇත්තෙකි. ගෙදර බළලා මිය ගිය විට ඒ ගැන වැඩිපුරම දින ගණනක් ලත වුනේ ඔහුය. මාද සංවේදී මිනිසකු වූයේ ඔහුගේ ආභාශයෙන්යැයි සිතේ.

පාසල් යන වයස එළබෙත්ම, පොළොන්නරුව නගරයෙන් සැතපුම් විස්සක් පමණ අති දුෂ්කර (එකළ) ගම් පෙදෙසක් වූ 400 ට මගේ සීයා මාරු කර යැවුනේ එහි නව රෝහලට අවශ්‍ය ප්‍රවීණ සහයකයකු ලෙසෙනි. ඉන් පසු එම පළාතෙන් කුඹුරු ඉඩකඩම් මිළදීගෙන සිය 8 දෙනෙකුගෙන් යුතු දරු පවුල සමග ඔහු පදිංචි විය. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වූ මගේ පියාට සිය සොයුරන්ගේත් වගකීම් කුඩා කල සිටම පැවරී තිබුණි. නමුත් ඒ අධ්‍යාපනය සම්බන්ධ ඒවා නොවේ. ඉගෙනීමේ වටිනාකම ගැන කියා දීමට කෙනෙකු නොමැති පරිසරයක, තමාද එයට යොමුවී සිය සොයුරන්ද එමගට ගත්තේ මපියාය. එහෙත් මේ අසරණයින්ට ඊට අවශ්‍ය ප්‍රතිපාදන ගෙදරින් වෙන් නොවුනි.

අධික ලෙස බීමට ඇබ්බැහි වී සිටි සීයා, සිය සොච්චම් වැටුපෙන් දරුවන්ගේ ඉගෙනීමට කිසිවක් වෙන් නොකළේ ඒ බව පෙන්වා දීමට තරම් උගතකු ඒ ගමේ නොවූ නිසා විය හැක.
උසස් පෙළ පන්ති සඳහා නගරයේ පිරිවෙණකට මගේ පියා නගරයට පැමිණ ඇත්තේ පයින්ය. දිනකට දෙපා ආවරණය කළ දුර කිලෝමීටර 50ක් පමණ විය. (යාමට ඒමට දෙකටම) පන්ති ගාස්තු සොයාගෙන ඇත්තේ කුළී වැඩ කිරීමෙනි. උසස් පෙළ කලා අංශයෙන් හැදෑරූ ඔහුට ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට පෙරදින එළිවන තුරාම සීයාට අයත් කුඹුරක අධික වෙහෙස වී වැඩ කරන්නට සිදුවී ඇත.
කෙසේ වුවත් ඔහු සිය අප්‍රතිහත ධෛර්ය්‍යය මත විශ්වවිද්‍යාලය වරම් ලැබීමට වාසානාවන්ත විය. පසුකලක මගේ අම්මා වූ තරුණිය එහිදී හමුවීම ඔහු (ජීවිතය පිළිබඳ දැක්ම අතින් සහ වෙනත් අංශ කිහිපයකින්ම) පරිපූර්ණ, අධ්‍යාත්මික අතින් පොහොසත් මිනිසකු කළ දෛවෝපගත සිදුවීමකි.

මහපොළ හෝ ශිෂ්‍යාධාර ක්‍රමයක් නොවූ එකල තවදුරටත් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට ඔහුට සිදුවිය. බෝඩිමේදී සියතින් සකස් කළ බත්පත හැර භෞතික අන් කිසිදු ලාභයක් ඔහු සිය ආදරවන්තියගෙන් නොපැතීය. අවශ්‍ය අනෙකුත් වියදම් පියවා ගැනීමට පත්තර කන්තෝරුවක වැඩ කිරීමට සිදුවිය. ලේඛකයෙක් ලෙස ඔහු මුලකුරු කියවන්නේ එහිදීය. 'අත්තටු නැති කුරුල්ලෝ' නමින් චිත්‍රකතාවක් ලියමින් ඔහු ලාංකික තරුණ හදවත් ලක්ෂ ගණනක් ස්ඵර්ශ කළේ ය.

මොන ආර්ථික ප්‍රශ්න තිබුණත්, පොත්පත් එකතු කිරීම ඔහුගේ විනෝදාංශය විය. මෙසේ මා කුඩාකළ වනවිට, ඔහුගේ එකතුවේ තිබූ විවිධ විෂයන් අලලා තිබූ පොත් සහ සඟරා ගණන දහස් ගණනකි. මේ සියල්ල ඔහු දාඩිය මහන්සියෙන් ඉපයූ දේ විය. (පන්ති නොගිසින්ම බොහෝ විභාග සමත් වීමට මා මේ නිධානයෙන් ලද පිටිවහළ අතිවිශාලය.)

සරසවිය තුළ සිය කලා කුසලතා තුළින් ඉමහත් ජනප්‍රියතාවට පත් ඔහුට මිතුරන් රාශියක් විය. කලා කටයුතු වලදී පෙරමුණ ගෙන ක්‍රියාකළ ඔහු ඇතුළු පිරිස සංවිධානය කරන ලද ප්‍රසංග ගණන අති මහත් විය.
දුක් විඳින සරසවි ශිෂ්‍යයා සැමදාමත් ඔහු කම්පාවට පත්කළ චරිතයකි. ඔවුන් උදෙසා වූ සටන් වලට පෙරමුණ ගත්තවුන් සමග ඉදිරියෙන්ම සිටියෙකි ඔහු. අසාධාරණය ඔහුට පෙන්නන්නට බැරිය.

සමාජවාදය ඔහුගේ සිත් පැහැර ගත් ආකර්ෂණීය දේශපාලන සංකල්පයක් වුවද ඕනෑම දෙයක අන්තවාදී ස්වරූපය ඔහු පිළිකුළ් කළේ ය. පළමු පෙළ ජ.වි.පෙ. ක්‍රියාකාරියෙකු වූ ඔහු 1988-89 කාලයෙදී එය අත් හැර දැමුවේ අහිංසක මිනිස් ඝාතන හා රාජ්‍ය දෙපළ විනාශය ඔහුට දරා ගත නොහැකි කම්පාවට පත්කළ නිසාවෙනි. සංවිධානයේ නඩත්තු වියදම් වශයෙන් අහිංසක සුළු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලා නොදුන් තැන ඔවුන් ඝාතනය කර පවුල් පිටින් මහමගට බැස්සවීම, සුළු සමාජ විරෝදී වැරදි හා විකල්ප මත දැරූ වරදට ඔවුන්ට කරුණු පෙන්වාදී / විකල්ප ආදායම් මාර්ග යෝජනා කර යහමගට ගැනීම වෙනුවට අහිංසකයන් පරලොව යැවීම, රාජ්‍ය ආයතනවල සේවය කළ හිතහොඳ මාධ්‍යවේදීන් ඝාතනය, රාජ්‍ය දේපළ (කාර්යාල හා වාහන, විශේෂයෙන් ලංගම බස් රථ) ගිණි තැබීම ඔහු කිසිදා අනුමත නොකළ අපරාධ විය. (රජයට විරෝධය පළ කිරීමට එසේ කිරීම 'වාහේ එක්ක තරහට නාහේ කපා ගැනීම'කි. මන්ද දැවී අළු වී යන්නේ දේශපාලුවන් ගෙදරින් ගෙනා මුදලින් මිළදී ගත් දේපළ නොව නොව, මෙරට අහිංසක දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් යොදවා මිළට ගත් හා  අහිංසකයින්ගේ දාඩිය මහන්සියෙන් නඩත්තු වන නිශ්චල චංචල දේපළ බව තේරුම් ගැනීමට නොහැකි වීම ජ.විපෙ. ලද මහත් අවාසනාවකි.) ඔහු ජ,විපෙ.ට යළි සහය පළ කලේ බොහෝ කලකට පසුව, ඔවුන් පරණ ගොන්කම් අතහැර ඇතැයි සිතිය හැකි පරිදි ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසි පසුය. (දැන්නම් උන් කෙළින පිස්සු වල හැටියට ඔහුට සියලු දේශපාලුවන් එපා වී ඇත. එනම් වර්ණය අවර්ණයි.) නමුත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම උදෙසා ජ.වි.පෙ. හා අන්තරේ විරු සිසුන් විසින් කර ඇති අසමසම හා විශිෂ්ට කැපකිරීම් ඔහු කිසිදා ලඝුකොට තකන්නේ නැත. සමාජවාදය උතුම් දර්ශනයක් බවත්, වැරදි පුද්ගලයන් අතට පත්වුණු විට විනාශකාරීබවත් ඔහු දකී. එවැන්නන් නිසා ඔහු සංකල්පයට හා සිද්ධාන්ත වලට නිගරු නොකරයි. 'ලෙනින්' පොත් කට්ටලය ඔහු එකල (88-89) සමඟින් ඔහු සිය ජීවිතය රැකගෙන ඇත්තේ ඒවා වළලා ඒ මත කෙසෙල් පඳුරක් සිටවීමෙනි. අදටත් ඒ වෙළුම් කිහිපය ඔහු සතුව ඇත. මෙසේ අන්තගාමී නොවී සෑම දෙයකම හොඳ නරක දෙකම විවෘත මනසකින් විචාරශීලීව බැලීමට අප හුරුකිරීමට තරම් විශිෂ්ටයකු වීම ගැන මම ඔහු ගැන ආඩම්බර වෙමි. 

ආකල්පමය හේතූන් මත, ඔහු වසර හතළිස් ගණනක් වන තුරුම පුද්ගලික පන්ති පැවැත්වීම ප්‍රතික්ෂේප කලේය. (ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිධාරියෙකි.) අකමැත්තෙන් වුවද ඒ සඳහා යොමුවුනේ ගෙදර ආර්ථික ප්‍රශ්න ඉහවහා ගිය හෙයින්, අපට දුක් දීමට නොහැකි නිසාය. ආර්ථික අතින් තරමක් යහපත් වුවත්, ඔහු ප්‍රියකරන්නේ සරල දිවි පෙවෙතකටය. වසර 60ක් පමණ පැරණි ගරාවැටෙන අම්බලමක් බඳු නිවස වෙනුවට අලුත් නිවසක් තැනීමට ඔහු කිසිදු උත්සාහයක් නොගනී. මා මේ මෑතකදී නවීන මෝටර් රථයක් මිළදී ගන්නා තෙක්ම ඔහු පාවිච්චි කළේ කසිකබල් කෑලි හැලෙන කාර් කට්ටකි. මෙයට යවන්නේ පතෝල වැලක්ද, ලබු වැලක්ද යන්න ඔහු හැර අපට තිබුණු ප්‍රශ්නයකි. එය සුදුසු එලවළු මැස්සක් ලෙස පාවිච්චි කිරීමටද, වැටෙන කෑලි අහුලාගැනීමට තවත් වාහනයක් පිටුපසින් පැමිණිය යුතු බවටද, මේක අල්ලන්නේ පොලීසියෙන් නොව පී.එච්.අයි. මහතා යැයිද මම ඔහුට නිතර විහිළු කළෙමි. ඔහු නොවෙයි එය ගණනකටවත් ගත්තේ. අළුත් වාහනය ගෙනා පසු ගරාජ් කාරයා විසින් ඔහුගේ අනගිබවනීය වාහනය හප්පා චප්ප චොරියන් කළේය. ඒ ගැන නොසැලුනු ඔහු එය ඉතා අඩු මුදලකට විකුණා මුදල් මගේ පශ්චාත් උපාධියේ පාඨමාලා ගාස්තු වශයෙන් ගෙවා දැම්මේ නිර්ලෝභීවය. මා වාහනයෙන් වැඩට එද්දී ඔහු අදටත් තෙමි තෙමී වැස්සේම රාජකාරිය සඳහා කිසිදු හීල්ලීමක් නොමැතිව පිටව යයි. ඔහුට වාහනය දී මා මෝටර් සයිකලය ඉල්ලා ගන්නට උත්සාහ කළද ඔහු විවිධ හේතු කියමින් එය මගහරියි. මෙවිට මට මතකයට නැගෙන්නේ 'අම්මා කියන බොරු' නම් අනුවේදී සටහනයි. පවුලේ සියල්ලන්ට ප්‍රමාණවත් ආහාර නොමැතිනම් 'මට බඩගිණි නෑ' යනු එවැනි එක් 'බොරුවකි'.

විශාල වාරික මුදලක් වාහනය වෙනුවෙන් ගෙවීමට තිබියදීත් මා පුද්ගලික අංශයේ රැකියාව ගැන කළකිරී ඉතා අඩු වැටුපකට රජයේ රැකියාවකට යාමට තීරණය කිරීම ගැන ඔහු කණගාටු වූවා නොව අතිශයින් සතුටට පත්විය. මා රැකියාවේ අධික මානසික පීඩනය යටතේ රෝගියකු වනු දැක්මට ඔහු බියවීම එයට හේතුවයි. කිසිදු මැසිවිළි නැගීමකින් තොරව ඔහු වාහනයේ අති විශාල වාරිකය මා වෙනුවෙන් සිය ආදායමෙන් ගෙවා දැමීය.

හිත හොඳ මිනිසකු වූ ඔහුව බොහෝ දෙනෙකු විසින් නිතරම රවට්ටනු ලැබේ. වරක් පොත් ව්‍යාපාරයක් ආරම්භ කළ ඔහු වැඩිදිනක් යාමට මත්තෙන් බංකොළොත් වූයේ අතිවිශාල ණය මුදලක් හිඟව පවතිද්දීය. වාහන විකිණා  ගෙවූ පසුද ඉතිරි වූ රු. හයලක්ෂ ගණන ඔහු වාරික වශයෙන් අදටත් සිය වැටුපෙන් ගෙවනු ලබයි.

පශ්චාත් උපාධි ගණනාවකට හිමිකම් කීවද ඔහු අඩුගණනේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, ගුරු උපදේශකයකු වීම ඔහුගේ අභිමතය නොවේ. ලැබූ උපගුරු තනතුරෙන් ඔහු සෑහීමට පත්ව ඇතුවා මදිවට ඒ පිළිබඳ උපරිම තෘප්තිමත්භාවයෙන් පසුවේ. ඔහුට වඩා සුදුකම් හා අත්දැකීම්වලින් අඩු අය ඔහුට උපදෙස් දීමට පැමිණීම ඔහු උපේක්ෂාවෙන් ඉවසයි.

කලා කටයුතුවලට ඔහු සිය පුද්ගලික මුදල් යොදවන්නේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් නොව හුදෙක් ආත්ම තෘප්තිය උදෙසා පමණකි. වරක් ඔහු නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යයක් නැරඹීමට ප්‍රවේශ පත්‍ර මිළදීගෙන පැමිණ තිබුනේ අතේ  ඇඟිලි ගණනටත් අඩු පිරිසකි. නමුත් ඒ දර්ශනය සඳහා ඔහු වියදම් කළ මුදල රු. 80,000 ඉක්මවීය. ආදායම යන්තමින් රු, දසදහසකට ආසන්න විය. නමුත් ඔහු මින් කම්පාවට පත්ව සියල්ල අත් හැර දැමුවේ නැත.

ඔහු ගැන ලියනවා නම් පොත් ගනණක් ලිවීමට තරම් අපූර්ව චරිතයකි. ඔහු මා මිනිසකු කළ ආකාරය මෙහිදී නොකියාම බැරි වුවත් දැනටමත් මෙය දික්ගැසුනා වැඩි හෙයින් අදට මෙතැනින් නවතිමි. බලා සිටි ඔබට ස්තුතියි.

2 comments:

  1. බොහොමයක් දරුවන් ත්මන්ගෙ දෙමපියන් ගැන අඩම්බරයෙන් කතා කරනවා. එත් මෙච්චර ආදරයෙන්, ගරු සරුව කතා කර්නන හැමොටම පුලුවන් කමක් නෑ. මන් හිතන්නේ ඔයා ප්‍රර්තනා කරනව ඇති මතු සන්සාරේ හැමදාම එතුමන් ත්මන්ගෙම පිය වෙන්න කියලා....
    හුගක් සතුටුයි....
    ඔයාගෙ කත්තාව කියවන්කොට මට පොඩි පරන සිද්දියක් මතක් උනා.
    මගෙ යාලුවෙක් හිටියා එයගෙ තන්තා එයලා පුන්ච්කලෙඩිම දාල ගිහින්. මන් සමාන්‍ය පෙල ඉවර කරන කොටත් අපේ ත්ත්ටා මගෙ ඇදුම් අතින් හොදලා වැලේ දානවා. මේක මේ යාලුවට දැකලා කදුලු ආවා. මට එත්කොට ත්දින් හිත්ට වැදුනා අපේ තාත්තලා අපිවෙනුවෙන් කරන දේවල් ගැන අපි කොච්චර සුලුවෙන් ද තකන්නේ කියලා. එක නැති මනුස්සයට ත්මඉ එකෙ අගේ තේරෙන්නේ කියලා...

    ReplyDelete